මට මේ කථාව මතක් උනේ ඊයෙ පෙරේදා පිටකොටුවෙදි බස් එකක් හොය හොය හිටපු සුද්දො දෙන්නෙක් දැකල.
මේ සිද්ධිය උනේ මම AL කරල ගෙදර ඉන්න කාලෙ. ඔය කාලෙ යාලුවො කට්ටියක් එක්ක බම්බලපිටියට ආවා class එකකට. ඉතින් එදා ගෙදර යන්න කියල මම පිටකොටුවට ආව. ඇවිත් 228/224 බස් නවත්වන තැනට ඇවිල්ල බස් එකට නගින්න හදන කොට මම දැක්කා යුරෝපීය ජාතිකයෙක්(රට මොකක්ද කියන්න තරම් මම විදේශිකයන් ගැන දන්නෙ නෑ.) එතන හිටපු බස් වලට නැගල කඩල විකුණන වෙලෙන්දෙක් ගෙන් එයාට යන්න ඕන තැනට යන විදිය අහනවා. ඉතින් ඕකට අර වෙලෙන්දත් උත්තරයක් දුන්න බව පෙනුනා. මම ඉතින් ඉස්සෙල්ලා යන බව පෙනුනු 224 බස් එකට නැග්ගා. පස්සෙ අර මහත්මයත් ඒ බස් එකටම නැග්ගා(ඔහුට නිකන්ම සුද්දෙක් කියන්න හිතෙන්නෙ නැත්තෙ ඔහුගෙ තිබ්බෙ ඒ තරම් ශාන්ත පෙනුමක් නිසා. ඔහු විදේශිකයෙක් උනත් හිටියෙ සරමකින් හා කමිසයකින් සැරසිලා. හිස සම්පූර්ණයෙන්ම මුඩු කරල. ඇදුමෙන් හැරුනහම ඔහුගෙන් දිස් වුනේ හාමුදුරු නමකගේ පෙනුමක්. ඔහු නැග්ග බස් එක නිසා මට සිතුනා මොහු කඳුබොඩ භාවනා මධ්‍යස්ථානෙට හෝ ඒ අසල ආර්න්‍යයකට යන පුද්ගලයකු විය හැකියි කියල.
ඉතින් මේ මහත්මයත් බස් එකේ ඉඳ ගත්තා. අර කඩල වෙලෙන්දත් පස්සෙ බස් එකට නැග්ගා කඩල විකුණන්න. කඩල වෙලෙන්ඳ ලං වුනාම අර මහත්මය ආයෙ මොනවද ඇහුවා, මම හිතන්නෙ ඔහු යන්නෙ නිවැරදි බස් එකේ බව තහවුරු කරගන්න වෙන්න ඕනෙ. හොඳම හරිය තියෙන්නෙ කඩල වෙලෙන්ද බස් එකටම ඇහෙන්න දීපු උත්තරේ… මිනිහ කිව්ව.. “ යර්ස්, යර්ස්… ශ්‍රී ලංකන් පීපල් ඔන්ලි වන් වර්ඩ් පීපල්, නෝ ටූ වර්ඩ්” කියල….. ඕක ඇහුනහම අර මහත්මයටත් යන්තමින් හිනා ගිය බව මම දැක්කා. කඩල විකුනන්නට කියන්න ඕන වෙලා තිබ්බෙ ලංකාවෙ මිනිස්සු වචනයක් කිව්වොත් කිව්වම තමයි, ආයෙ වචන දෙකක් නෑ කියල වෙන්න ඇති.
මේ කථාව කිව්වෙ අර මනුස්සයගෙ ඉංග්‍රීසි දැනුමට අපහාස කරන්න එහෙම නෙමේ. එයා ඒක පරිවර්ථනය කරපු අපූරුව පෙන්නන්න.. ඉංග්‍රීසි අපේ මවු භාශාව නෙමෙයිනෙ…. අනික සුදුවට හිටියට ගොඩක් සුද්දන්ටත් ඉංග්‍රීසි බෑනෙ.